Abstract:
“පැරැන්න මිය යමින් පවතින අතර, නවීනත්වය ඉපදීමට වෙර දරයි: මේ අරාජක කාලය තුළ විපරීතයන් බිහිවේ.” - අන්තෝනියෝ ග්‍රම්ස්චි - (සිරගත සටහන් - 1929-1935)
ශ්‍රී ලංකාව දැන් සිටින්නේ සමාජ-ආර්ථික හා දේශපාලන බිඳවැටීමක් අද්දර ය. නිදහසින් පසු රාජ්‍යය මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර; ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු බොහෝ දේ අඛණ්ඩව හිඟවෙමින් පවතී. නිදහසින් පසු දශක හතක් තුළ රාජ්‍ය පාලනයේ අසමත් කළමනාකාරිත්වය රට අරාජිකත්වය දක්වා රැගෙන යාමට සමත් වූ බව නොරහසකි. එසේ හෙයින් ජනතාව විසින් මේ මොහොතේ බලකර සිටිනුයේ රාජ්‍ය පාලන බලය ජනතාව සතු කරන ලෙසය.
‘මූලික නියාමය’ (Grundnorm) යනු හාන්ස් කෙල්සන් (1881 - 1973) නම් නීති රචකයා විසින් ඔහුගේ ‘නීතිය පිළිබඳ නිර්මලවාදය’ (Pure Theory of Law) නම් නිබන්ධනයෙහි නිර්වචනය කරන ලද නීතිවිද්යාත්මක යෙදුමකි. ඔහු අර්ථදක්වන ආකාරයට ‘මූලික නියාමය’යනු ඕනෑම සහ සෑම නීති පද්ධතියකටම පදනම වන මූලික සම්මතයක්, නියෝගයක් හෝ රීතියක් වේ. ඒ අනුව යම් නීති පද්ධතියක යාථාදෘෂ්ඨික නීතියේ වලංගුභාවයේ මූලාශ්‍රය ලෙස මෙම ‘මූලික නියාමය’ සැලකිය හැකිය.
නීති පද්ධතියක ‘මූලික නියාමය’ වෙනස් කළ හැකි එකම මාර්ගය ‘විප්ලවය’ පමණක් බව කෙල්සන්ගේ අදහසයි. ඔහු දක්වන පරිදි “සාර්ථක විප්ලවයකින් පසුව වුවද පැරණි ව්‍යවස්ථාව සහ ඒ මත පදනම් වූ නීති ක්‍රියාත්මක වන බව කිසිඳු නීති විශාරදයකු තර්ක කරන්නේ නැත.” 1972 දී ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවයකට මුහුණ දුන් අතර එය ‘මූලික නියාමය’ වෙනස් කිරීමට හේතු සාධක විය. මෙම නිශ්චිත මොහොත තුළ ද නිර්මාණය වී ඇත්තේ ‘මූලික නියාමය’ ප්‍රතිස්ථාපනය කළ හැකි ඓතිහාසික අවස්ථාවකි. ඒ අනුව, නීතිවිද්යාත්මක දෘෂ්ඨිකෝණයෙන් නිරීක්ෂණය කරන විට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය විප්ලවයක එළිපත්තේ සිටීමක් ලෙස සැලකිය හැකිය. ‘ජනතාවගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්’ ජනතාව විසින් පැනවීම තුළින්, ‘ජනතාවාදී නව මූලික නියාමයක්’ ප්‍රතිස්ථාපනය කිරීමට නම් මෙම විභවය නිවැරදිව උපයෝජනය කළ යුතුය.